'Mahamevnawa' is a group of monasteries founded by Most Ven. Kiribathgoda Gnanananda Thera (Pinwath Loku Swamin Wahanse). Our goal is to teach people the original teachings of the Buddha based on the Tripitaka.

මහමෙව්නාව භාවනා අසපුව
චතුරාර්ය සත්‍යාවබෝධයට ධර්ම දේශනා
ගෞතම බුදු සසුන තුළ සනාතන රැකවරණය ලබමු.

This channel includes:
🌷 Sermons of Kiribathgoda Gnanananda Thera
🌷 Guided meditation instructions in Sinhala
🌷 Poems (Vandana Kavi) recited by Kiribathgoda Gnanananda Thera, highlighting the qualities of the Buddha, Dhamma, and Sangha
🌷 Chantings of the Paritta and Sutta
🌷 Events conducted by Mahamevnawa Monastery

You may subscribe to this channel if you wish to learn the original teachings of the Buddha for the realization of the Four Noble Truths, which help liberate us from all kinds of suffering.

Contact Info
Mahamevnawa Bhawana Asapuwa
Waduwawa, YatigalOluwa.
Polgahawela,
Sri Lanka

Phone: +94 37 22 44 602 / +94 37 729 4993
WhatsApp: +94742974674


Mahamevnawa

🌕 වෙසක් පෝදා සදහම් සංදේශය 📨
✍️පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

සසරේ සැරිසරා ආ මේ ගමනේදී අපට අහිමි වූ දෑ බොහෝ ය. ඒ බව දත හැකි වන්නේ සම්මා සම්බුදුවරුන්ගේ යුගයත්, පසේබුදුවරුන්ගේ යුගයත් ඉක්ම ගොස් ඇති බව අප තේරුම් ගන්නා විට ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මහපොළොවේ සිරිපා තබමින්, දහම් දෙසමින් ඇවිද ගිය යුගයක් තිබුණි. ඒ දහම් ඇසූ නුවණැත්තන් සිත පහදවාගෙන එම දහමෙහි හැසිර රැකවරණය ලත් යුගයක් තිබුණි. හුදෙකලාවේ දහම් අවබෝධ කරගත් පසේබුදුවරුන්ගේ යුගයක් ද තිබුණි. මේ මොහොත වන විට එම සකලවිධ ක්ෂණ සම්පත්තියම අපට අහිමි වී ඇත.

අප ජීවත් වන වර්තමානය බිහිසුණු ලෙස අනතුරට ලක්වෙමින් පවතී. න්‍යෂ්ටික අවි ආයුධ තනමින් නූතන මිනිසා මහපොළොව සුණුවිසුණු කරන්නට සූදානම් වේ. රටරටවල් ගිනි තැබීමත්, ඔවුනොවුන් භේදභින්න කිරීමත්, මංකොල්ලකෑමත් වැඩිවෙමින් පවතී. බලයෙන් උමතු වූ ඇතැම් රටවල් විසින් වෑයම් කරනු ලබන්නේ සකලවිධ මිනිස් වර්ගයා තමාගේ පාදයට යට කිරීමට ය. මෙහි ප්‍රතිඵල විසින් අපට ලබාදෙන්නේ දුර්භික්ෂයත්, මනුෂ්‍ය ඝාතනත්, පලිගැනීමත්, වෛර කිරීමත්, බිය හා සැකයත්, දුක් කඳුළුත් නොවේද?

කෙසේ වෙතත් ලෝකය තුළ කිසියම් ගින්නක් ඇවිලෙමින් තිබේ. ඒ ගින්න වනාහී රාගයෙන් හටගත්, ද්වේෂයෙන් හටගත්, මෝහයෙන් හටගත් ගින්න විනා වෙන ගින්නක් නොවේ. මෙය සංසිඳෙමින් නොව උත්සන්න වෙමින් තිබෙන බව පැහැදිලි ය. එමෙන්ම අනපේක්ෂිත ස්වභාවික විපත්වල ප්‍රමාණය ද වැඩිවෙමින් තිබේ. මේ සියල්ල තුළ අසරණභාවයට පත්වන්නේ සත්වයා ය. ලොව කොතෙකුත් අවදානම් පරිසරයක් ගොඩනැගෙමින් තිබුණ ද, ඔවුන්ගේ අන්ධ විශ්වාසවල නම් කිසි අඩුවක් නැති බව පෙනේ.

ගෞතම බුදුරජුන්ගේ ජීවමාන යුගයත් අහිමි වූ, රහතන් වහන්සේලාගේ ජීවමාන යුගයත් අහිමි වූ, මාර්ගඵල ලාභීන්ගේ ජීවමාන යුගත් අහිමි වූ අපහට ඉතිරි වී තිබෙන්නේ කිසියම් ආපදාවකින් අපගේ මිනිස් බව අපට අහිමිවන්නට පෙර අඩුගණනේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම නොවේද?

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් අපට වදාළ ධර්මය මොනතරම් සත්‍යයයි ද? “හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ.” ‘පින්වත් මහණෙනි, දැන් මම ඔබ අමතමි. සකස් වී ඇති හැමදෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එනිසා ලද මොහොත අහිමි වන්නට පෙර සත්‍යාවබෝධයට වීරිය කරන්න’ කියා ය.

නූතන ලෝකය විසින් අපට ලද මොහොත අහිමි කොට ඇත. රූපවාහිනිය විසින් අපගේ ඇස් පැහැරගෙන ඇත. තොරතුරු තාක්ෂණය විසින් අපගේ නිදහස් කල්පනාව ද පැහැරගෙන ඇත. අධ්‍යාපනය විසින් අපගේ ස්වාධීනත්වය පැහැරගෙන ඇත. දේශපාලනය විසින් අපගේ ගෞරවය පැහැරගෙන ඇත. සම්ප්‍රදාය විසින් අපගේ බුද්ධිය පැහැරගෙන ඇත. ආහාරපාන විසින් අපගේ සෞඛ්‍යය ද පැහැරගෙන ඇත. පරිසරය විසින් අපගේ හුස්මපොද ද පැහැර ගනිමින් සිටී. මේ සියල්ල තුළ අපට අහිමිව තිබෙන්නේ මිනිසෙකුව අප ලද උරුමයන් ය. එම උරුමයන් අතර අග්‍ර වූ දේ නම් සත්‍යය දැකීමේ උරුමයයි. එය ද අපට අහිමි වී ඇත. විවිධාකාර මතිමතාන්තර, වාද විවාද, විවේචන හා මඩ ප්‍රචාර ඔස්සේ නා නා දෙසුම් නාමයෙන් අපට අහිමි කොට තිබෙන්නේ සත්‍යාවබෝධ කිරීමේ අවස්ථාව නොවේද?

මෙයින් ඔබව බේරාගත හැක්කේ ඔබ නිදහස් චින්තනයකට හිමිකම් කියුවහොත් පමණි. මිනිසෙකුට නිදහසේ කල්පනා කිරීමට ඇති හැකියාව ඔහු ලද සියලු සම්පත්වලට වඩා අගනේය. ඔහු ලද සියලු දැනුමට වඩා අගනේය. ඔහු ලද ඤාති මිත්‍රාදී පිරිවරට වඩා අගනේය. මක් නිසා ද යත්, ඔහුගේ බුද්ධිය විවර වන ද්වාරය එය වන හෙයිනි. නිදහස් කල්පනාවෙන් යුතු මිනිසා හට ගෞතම බුදුරජුන්ගේ ධර්මය ලැබීම දිළින්දෙකුට සතර මහා නිධානය ලැබීම බඳු ය. ගෞතම බුදුරජුන්ගේ විස්මිත අවබෝධය එම දහම තුළින් දිදුලයි. උන්වහන්සේගේ මහා ප්‍රඥාවේ රශ්මි කදම්බය සකල ලෝකය ඒකාලෝක කරන අයුරු දැක්ක හැක්කේ ඒ ධර්මය තුළිනි.

සැබැවින්ම බුදුවරුන්ගේ පහළ වීම අතිශයින්ම කලාතුරකින් සිදුවන අද්භූත දෙයකි. එවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අසිරිමත් දම් දෙසුම් මෙකල ද අපට කියවන්නට ලැබේ. අසන්නට ද ලැබේ. උන්වහන්සේගේ යුගය සිහිගන්වන වන්දනා ද අපට අසන්නට ලැබේ. උන්වහන්සේ වෙනුවෙන් කෙරෙන උපහාර ද අපට අසන්නට ලැබේ. මේ සියල්ල අප වෙත ලැබෙන අතිශයින්ම දුර්ලභ වූ නිධානයකි. මෙහි ඇති වටිනාකම අපට තක්සේරු කළ නොහැකිය.

වරක් අනඳ මහතෙරුන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සතු හැකියාව තුළින් ලොව අමතන අයුරු කෙසේදැයි විමසන ලද්දේය. එවිට අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ සම්මා සම්බුදුවරුන්ගේ හැකියාව මිණිය නොහැකි බවයි. ඒ ගැන පවසන ලෙස යළි යළි ඉල්ලා සිටි විට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙම චක්‍රාවාටය මෙන්ම සිය දහස් ගණනින් පැතිර පවත්නා අනන්ත අප්‍රමාණ ග්‍රහලෝක වලින් යුතු දස දහසක් ලෝක ධාතුවටම භාග්‍යවතුන් වහන්සේගේ හඬ පැතිරවිය හැකි බවයි. පළමුව ආලෝකය පතුරුවන බවත්, එවිට ඒ ඒ ලෝකවල සිටින සත්වයන් එම ආලෝකය දෙස බලද්දී හඬ පතුරුවන බවත් උන්වහන්සේ වදාළ විට අනඳ මහතෙරණුවෝ අද්භූත චමත්කාරයකින් වෙළී ගියහ. ‘අහෝ! අසිරිමත් යැ. මා සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අසිරිමත් යැ. මෙය මට මනා වූ ලැබීමෙකි.’ එවිට අනඳ තෙරුන් අසළ සිටි උදායී නම් තෙර නමක් එයට අසතුටු විය. ‘ආයුෂ්මත් අනඳයෙනි, තෙපි කුමකට නම් මෙතරම් තුටු පහටු වන්නහුද? එම අසිරිය තොපගේ නොව භගවතාණන්ගේ නොවේද?’

එකල්හී අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ මේ බලන්න. ‘හා හා උදායි, අනඳයන් හට එසේ නොපවසන්න. දැන් අනඳයන්ගේ සිත පහන් වූයේ තථාගතයන් කෙරෙහි ය. මේ පහන් සිතෙහි ඇති විපාකය කෙතරම් බලවත් ද යත්, අනඳයන් හට සත් වතාවක් සක්දෙව්රජ පදවිය ලබන්නටත්, සත් වතාවක් මනුලොව සක්විති රජ පදවිය ලබන්නටත් ප්‍රමාණවත් ය. වැලිදු අනඳයෝ මේ අත්බැව්හිම නිකෙලෙස් වෙති.’

මෙය අසිරිමත් නොවේද? භාග්‍යවතුන් වහන්සේගේ උදාරත්වය කෙරෙහි කෙනෙකු තුළ ඇතිවෙන චිත්තප්‍රසාදය මොනතරම් සුඛභාගී දෙයක්ද? ඔහුගේ ජීවිතයට සැපය සළසන උල්පතක් බඳු දෙයකි. නිරතුරුව පුණ්‍යධාරාවන් නැගී එන දෙයකි. එසේ නම් අප කළ යුත්තේ උදායී තෙරුන් සේ නොපහන් ව සිටීම නොව, අපගේ අනඳ මහතෙරුන් වහන්සේ මෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහන් කරගැනීම නොවේද?

වත්මන් මිනිසා පත්වෙමින් සිටින භයානක ඉරණම ගැන අපි ඇසුවෙමු. එහෙත් අප ලද මේ දුලබ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, ඒ ධර්මය කෙරෙහිත්, ආර්ය සංඝයා කෙරෙහිත් සිත පහන් කරගන්නට අසමත් වුවහොත් අපට කුමක් වේ දැයි කවුරු දනිත් ද? තම ජීවිතයට කැමති කෙනා කළ යුත්තේ තමාට යහපත උදාකරදීම පිණිස වෑයම් කිරීමයි. එසේ නොකොට කිසිදා මරණයෙන් වැළකී සිටිය නොහැකිය. යම්හෙයකින් මරණින් මතු නිරයේ උපදින්නට සිදුවුවහොත්, තිරිසනුන් අතර උපදින්නට සිදුවුවහොත්, ප්‍රේතයින් අතර උපදින්නට සිදුවුවහොත්, අසුරයින් අතර උපදින්නට සිදුවුවහොත් මහත් වූ විනාශයක් උරුම වේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ එවන් ඉරණමක් කරා ගිය මිනිසා යළි මිනිසත් බව කරා පැමිණෙයි නම් එය ඉතා දුලබ කරුණක් වන බවයි. මක් නිසා ද යත්, එක්වරක් සතර අපායට බැසගත් සත්වයා යළි යළිත් උපත ලබන්නේ එහි ම නිසාය. මෙය ඉතා භයානක ඉරණමකි. මෙවන් බිහිසුණු දෛවයකට මනුලොව උපන් මිනිසාට මුහුණ දෙන්නට සිදුවුවහොත් එය ඉතාමත්ම අභාග්‍යසම්පන්න දෙයක් නොවේද?

උපන් සත්වයා විවිධාකාර හේතුපාදක මත මිය යන අයුරු අපට කොතෙකුත් පෙනේ. එසේ නම් එවන් දසුන් නිතර දකිමින් සිටින අප එකිනෙකා අභිබවා යන්නට හෝ එකිනෙකාට එරෙහි වන්නට හෝ තමාගේ බලපරාක්‍රමය පතුරුවන්නට හෝ වාදවිවාද කරමින් ජය ලබන්නට හෝ කල්පනා කරමින් සිටීම තුළ නිගා ලබන්නේ අප ලද බුද්ධියයි.

වසරින් වසර අපි මහත් ඉහළින් සම්බුදු තෙමඟුල සමරමු. එය අප හට උදාවන කිසියම් දුර්ලභ මොහොතකි. ඒ මොහොත ඉක්ම යා නොදී ගෞතම බුදුසසුන අපගේ සිතෙහි රඳවා ගත යුතුය. ඇතැම් විට මෙම අවස්ථාව අපට අහිමි වුවහොත් යළි කල්ප ගණනක් යනතුරු බුදුකෙනෙකුගේ දැකීම තබා බණපදයක්වත් අසන්නට අවස්ථාව අහිමි වන්නට පුළුවනි. එනිසා නුවණින් සහ නිදහස්ව කල්පනා කොට මේ ලද අවස්ථාවෙහි වටිනාකම තම තමන් විසින්ම තේරුම් ගත යුතුය. වරක් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ ‘ඛණාතීතා සෝචන්ති නිරයම්හි සමප්පිතා’ වශයෙනි. එනම් මේ ලද මොහොත නිසි අයුරින් ඵල නොලබා මෙහි දුලබ මොහොත අහිමි කරගත් උදවිය නිරයෙහි ඉපිද ශෝකයෙන් වාසය කරන බවයි.

මේ ලද මොහොත සුවිශේෂී වූත්, දුර්ලභ වූත්, භාග්‍යසම්පන්න වූත් අවස්ථාවක් බවට පත්වන්නේ ඔබ තුළ ගොඩනැගෙන සත්පුරුෂ ගුණධර්ම මත ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වන සත්පුරුෂ භූමිය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නට ඔබට ද අවස්ථාව ලද හොත් එය මේ මොහොතේ ලබන අද්භූත ආශීර්වාදයක් වනු නොඅනුමානය.

ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

නමෝ බුද්ධාය!

#Vesak #fullmoonpoyaday #Mahamevnawa #BuddhaPurnima #kiribathgodagnananandathero

2 days ago | [YT] | 879

Mahamevnawa

මේ තරම් ලස්සන වීඩියෝ එකක් ඔබ මින් පෙර දැක නැතුවාට සැක නැහැ. දැන් ම නරඹන්න 👇

#Vesak #fullmoonpoyaday #Mahamevnawa #BuddhaPurnima #ShraddhaTV

3 days ago | [YT] | 43

Mahamevnawa

ලෝ සත කෙරෙහි හිත සුවේ - යෙදුවෝ තිලෝනා
වැඩි සේක සාල උයනට - අසූ වෙනි වියෙහි දී
යම් තැනක සැතපී සිට - පිරිනිවන් පා වදාළෝ
නිබ්බාන චේතිය උතුම් - සිරසින් වදිම් මම්

#Vesak #fullmoonpoyaday #Mahamevnawa #BuddhaPurnima

4 days ago | [YT] | 667

Mahamevnawa

ශ්‍රී ශාක්‍යමුනී සමිඳුන් වඳිනෙම්... 🙏
🎼 ශ්‍රී ශාක්‍යමුනි ධාතු වන්දනාවේ පින්බර දසුන් ඇතුළත් සුමධුර ගීතයකි.

4 days ago | [YT] | 29

Mahamevnawa

වාඩි වී වජිරාසනේ මත - වීරියෙන් දිනු බුදුරජාණෙනි
නේක දොස් ඇති සියලු කෙලෙසුන් - නසා ජය ගත් මුනිරජාණෙනි
ඤාණබලයෙන් යුතුව සම්බුදු - බවට පත්වූ සිහරජාණෙනි
බෝධිචේතිය වඳිමි සිරසින් - සිතා සම්බුදු ගුණ සුවාමිනි

#Vesak #fullmoonpoyaday #Mahamevnawa #BuddhaPurnima

4 days ago | [YT] | 350

Mahamevnawa

මායා බිසව්ගේ කුසින් - වැඩි බෝසතාණෝ
ඒ මොහොතෙදී පියවරින් - සක්මන් කළෝ මෙහි
විහිදූ මිහිරි සිහනදින් - ලුම්බිණී උයන්හී
ඒ ජාත චේතිය උතුම් - සිරසින් වඳිම් මම්

#Vesak #fullmoonpoyaday #Mahamevnawa #BuddhaPurnima

4 days ago | [YT] | 602

Mahamevnawa

🌷 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෛශාඛ මංගල්‍යය
(ව්‍යවහාර වර්ෂ 2026 වෙසක් පුන් පොහොය)

✅ සම්බුදු උපත සිදු වී අදට වසර 2650 යි

✅ බුදුරජුන් සම්බුදු බවට පත් වී අදට වසර 2615 යි

✅ සම්බුදු පරිනිර්වාණය සිදුවී අදට වසර 2570 යි

✅ සම්බුදු රජුන් තුන්වැනි වරට ලක්දෙරණට වැඩමකොට අදට වසර 2607 යි

✅ විජයාගමනයෙන් ලක්දිව මිනිස්වාසයක් බවට පත්ව සිංහල ජාතියේ ආරම්භය සිදුවී අදට වසර 2570 යි (මහාවංශයට අනුව)

#Vesak #fullmoonpoyaday #Mahamevnawa #BuddhaPurnima #SriLanka #Mahawanshaya

4 days ago (edited) | [YT] | 343

Mahamevnawa

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන්
සම්බුදුරජුන් පුද දෙන
සුපින්බර වෙසක්
පුන් පොහෝ දිනයක් වේවා!

#Vesak #fullmoonpoyaday #Mahamevnawa #BuddhaPurnima

5 days ago (edited) | [YT] | 635

Mahamevnawa

පින් කැමැත්තෝ සුවඳ මල් ගෙන මාවතෙහි පෙළ සැදෙත්වා!

ඔබටත් මැයි 30 වෙසක් පුන් පොහෝදා මාර්ගය දෙපස සිට උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා මලින් සුවඳින් පූජා පවත්වා පින් රැස් කරගන්න පුළුවන්.

#Vesak2026 #BuddhaRelics #DhathuVandana #Mahamevnawa #Bowaththa #Galnewa

5 days ago | [YT] | 518

Mahamevnawa

🔴 ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතු වන්දනාවේ අවසාන දිනය අද යි!

තවමත් පැමිණීමට නොහැකි වූවා නම්, ඔබත් අද ම පැමිණ උතුම් ධාතූන් වහන්සේලා සියැසින් දැක බලා වන්දනා කොට දස්සනානුත්තරිය මහා පුණ්‍යස්කන්ධය රැස්කරගන්න.

මෙම උතුම් ධාතූන් වහන්සේලා හෙට (මැයි 30) වෙසක් පුන් පොහෝ දිනයේ මනරම් රන්සිවිගෙයක වඩාහිඳුවා රියපෙරහැරින් ගල්නෑව, නෑගම්පහ මහමෙව්නාව භාවනා අසපුව වෙත වඩමවාගෙන ගොස් එහි ශ්‍රී ආනන්ද මහාසෑරදුන්ගේ සතරැස් කොටුවෙහි වඩාහිඳුවීමට නියමිත ය.

#Vesak2026 #BuddhaRelics #DhathuVandana #Mahamevnawa #Bowaththa #Bingiriya #ShraddhaTV

6 days ago (edited) | [YT] | 587